Sunday, March 22, 2015

සැතපෙන්න මා ලඟින්





ලොවම නිදන මහ රෑ යාමයේ
නිදි නැති නෙතු මට පැවසූයේ
නුඹව දකින තුරු දෙව්ලියේ
නිදනු නොහැකි බව මේ රැයේ

නුඹ පැමිනෙන තුරු හෝ සිහිනයකින්
සිත මගේ නලියයි මහ චකිතයකින්
සරසා යහනම මල් පෙති සුවඳින්
සතපව ගන්නෙමි නුඹ ආවෝතින්

සියුමැලි නලලෙහි මගෙ මුව තියලා
සිනහ නගන්නම් දෑසම බලලා
සුමුඳු පුංචි නුඹේ දෑතම අල්ලා
තුරුලට ගන්නෙමි කොපුලම සිඹලා

කෙහෙරැල් පිරිමැද සුව සලසන්නම්
ගීයක පදවැල් මුමුනාලන්නම්
නීල දෑස් නුඹෙ වෙතට එබෙන්නම්
නුඹ මගේ ලය මත හොවා තබන්නම්

රැහැයි හඬ ඇසෙයි මුළු රැය මැදදී
සඳෙහි රැස් වැටෙයි එලියට අතදී
සිසිලස නොමැකෙයි උණුහුම මැදදී
සඳ සැඟවී යයි නුඹහට ඉඩදී

අඩ අඳුරෙදි නුඹේ දෑස් පෙනෙනවා
දෙනුවන් අතරින් කඳුලැල් එනවා
සිහිනයක් සැනින් මතුවී එනවා
මතකය මතුවී කඳුලු ගලනවා

Saturday, March 21, 2015

අහස






අඳුරු                                                අහස
සඳ වේ නම් නුබේ                             පහස
ඔබ වට දිලිසෙන නිල් තරු                 දහස
රවටන් ඉන්නද නිතරම                    අදහස


සඳ බැබලෙන විට              පසලොස්වකදා
ඔබ සඳ සමඟින් මුකුලු                  කරනදා
අමාවකට පාළුවෙ නුබ                 නොනිදා
රටා ගොතනවා නිල් තරු                   ඈදා

අසරණ තරු කැට නුබ                 රවටනවා
පසලොස්වකදා උන්                වැලපෙනවා
නිතරම නුබ සඳ අගේ                    කරනවා
සැමදා තරු කැට පාළු                    කපනවා

උහුලන් ඉන්නම බැරි තැන තරු          කැට
විසිරී යනවා බිඳු බිඳු කැට                    කැට
පොලව සිඹිනවා සමහර තරු              කැට
කඳුලැලි වෙනවා එතකොට මුතු          කැට

නුබට අගේ ඇති පුන්සඳ                  සමගින්
ඉන්න එහෙත් ඇයි තරු කැට        පසෙකින්
නිතර දකින තරු කැට හට          මෙලෙසින්
අවමන් නොකරනු අහසක්               විලසින්





Friday, March 20, 2015

කළු මී හරකා





මන් මේ කියන්න යන කථාව විස්වාශය අවිස්වාශය අතර දෝලනය වෙන එකක්. මේ අපේ මාමාගේ වයිෆ්ගේ තාත්තාට වෙච්චි දෙයක් ඇත්ත නැත්ත කෙසේ වෙතත් කථාව රසවත් නිසා ඕං මං දැම්මා..

මුලින්ම කියන්න ඕනේ මේ සීයාගේ පදිංචිය මහියංගනේ මාපාකඩ කියන ගමේ. එයා යන්තර ගුරුකම් සාස්තරෙන් හොද වැඩ්ඩෙක් කියල ගමේම ප්‍රසිද්ධයි. මේ සිද්දිය වෙලා දැන් අවුරුදු දහයක්වත් ඇති. මාපාකඩ කියන්නේ ඉතිං දුෂ්කර අතින් පොහොසත් ගමක්.. ගෙවල් තියෙන්නේ ගොඩක් ඈතින් ඈතට. හවස් වෙනකොට තියෙන වැඩ සේරම අහවරකරල ගෙවල්වලට වැදෙන එක තමා මේ ගමේ මිනිස්සුන්ගෙ පුරුද්ද. හවස් වෙනකොට මිනිස්සු කාගෙවත් හාවක් හූවක් නැති ගානයි. ආන්න ඒ වෙලාවල් වල තමයි වැඩි හරියක්ම මේ ගුරුන්නාන්සේ ගමන් බිමන්වල යෙදෙන්නේ. ඕං ඉතිං සුපුරුදු විදියට ගුරුන්නාන්සෙ ගියා වස් දෙස් තියෙන ගෙදරකට ආරක්ෂාවක් කරන්න. ‍මේ වැඩ කටයුතු අහවර වෙනකොට හුගක් රෑවෙලා තමයි ආපහු එන්න පිටත් වෙලා තියෙන්නේ. මෙයා ගාව තියෙනවා යකඩ අත්වාරුවක්, ඒකෙම සැඟවුනු කඩුවකුත් එක්කම. මේකත් එක්ක පයින් තමා ඉතිං ගමන. ඔහොම එනකොට තනි කෙලින් පාරක කිලොමීටරයක් විතර ගමන් කරල ඒ අවසානේ අතුරු පාරකට හැරිල තමයි ගෙදර යන්න තියෙන පාර විදියට නියමිත වෙලා තිබුනේ. මේ කෙලින් පාර දිගේ ඇවිදන් යනකොට පාර දෙපැත්තේ තියෙන්නේ වෙල්, ටික දුරක් යනකොට..... “ජක බොක...ජක බොක“ ගාලා වෙලේ වතුර කලත්තවගෙන තඩි කළු මී හරකෙක් ගුරුන්නාන්සෙගේ පිටිපස්සෙන් වෙලෙන් පාරට ගොඩ උනාලු ඕං. රැලෙන් මඟඇරුනු මී වස්සෙක්නෙ කියල ඒ ගැන මේ ගුරුන්නාන්සෙට හාන්කවිසියන් වෙලා නෑ.  ගුරුන්නාන්සෙ ඇවිදන් යනකොට මී වස්සත් දැන් හරි හරියට එනවලු පස්සෙන්ම. වෙන අවදානෙක උන්නු  ගුරුන්නාන්ස දැන් ‍මේ වස්සා ගැන විපරමෙන් එන්න පටන් ගත්තලු. ඒ නිසාම පය ඉක්මන් කරනකොට මේ පුතෙයත් හැල්මෙ එන්න තියා ගත්තලු..
උබට කියන්න මයේ පුතේ....., ගුරුන්නාන්සේ සීයා කියාගෙන ගියේ මෙහෙමයි.....    “ඔං දැන් මං  කිට්ටුවමයි වස්සා. දැන් දැන් මූගේ නාස්පුඩු වල හුස්මත් මයේ පිටේ වදින ගානයි. මේ වෙනකොට මේ මහසෝන් අවතාරේ වෙස් හතෙන් එක වේෂයක් වන මී හරක් වේසෙන් බිල්ලක් හොයන මහා කාල මහසෝනා කියලා  මං නිච්චි කොරගත්තා. හතරවරං දෙවි ඇත්තංගේ පිහිට ආනුභාවයෙන් හිතට හයිය අරන් හනි හනිකට අතුරු පාර දිහාවට පය ඉක්මන් කොරේ, ගෝඨයිම්බර සටනෙන් පරාදවෙලා මාරාවේෂෙන් පලිගන්න ජයසේන නොහොත් මහසෝන යොධයානේ ඉතිං නේද ‍මේ කියල මතක් කර ගන්න ගමන්මයි. ඕං ඉතිං දැන් මේ මී හරකාගේ කුර ගැටෙන සද්දෙත් එන්න එන්නම වැඩී. මං මේ හැරමිටියෙ කඩුවට මහසොහොන් අලඟුව මතුරන ගමන් තවත් වේගේ වැඩිකරලා පය ඉක්මං කොරලා එක පාරටම පාර හරහා ඉරක් ගහල ඉරෙන් එහාට පැනල තමයි පස්ස හැරිලා මේ සෙල්ලං දාන පුතෙයා දිහා බැලුවේ. දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ කියලා එතකොටයි මං මුගේ තරම දැක්කේ මූ නිකන් වෙල් යායේ දිගේලි වෙන මී ගවයෙක් වාගේ තුනක් විතර ඇති.. මහසොහොන් අලඟුවට(මන්තරයක්) තියෙනවා මහ විශාල බලයක්. ඒ නිසා මුන්දැට මේ ඉරෙන් මෙහාට එන්න බැරුව හරිම ගොරනාඬුව කුර ගගා පිඹිනවා. ඒ අවස්ථාව පුතේ වචනෙන් කියන්න අමාරුයි ඒ තරම් භයංකරයි. ඒ වෙලාවේ එක පාරට “ගුරුන්නාන්සේ“ ගාලා කව්දෝ මොරදුන්නා හැබැයි ඒක අඬගෑමකට වඩා මොරදීමක් වාගෙයි මට ඇහුනේ. එතකොට මං බලද්දි උන්නේ හේමපාල, මිනිහා තමයි ගමේ දඩයක්කාරයා.. මිනිහා කඩිමුඩියේ දුවන් ඇවිත් ගුරුන්නාන්සෙ තනියා තනියා(රෑනෙන් මිදුන ඇතා) ගාලා වෙඩිල්ලක් පත්තු කලා. එතකොට මහා හඬක් එක්ක ගහක් බිම වැටෙනවා වගේ සද්දයක් ආවා.. ඒ එක්කම හේමපාලයි මායි එන්න ආවා.. මඟදි මං මිනිහගෙන් ඇහුවා විලාප තියනවා වගේ ගුරුන්නාන්සේ ගෑවේ මොටද කියලා. මිනිහා කියපි, “නෑ මං කථාකලේ නෑ කියලා“ අදටත් ඒ කථාකලේ කවුද කියලා මං දන්නේ නෑ.. පහුවෙනිදා උදෙන්ම මං හේමපාලවත් කතාකොරන් සිද්දිය වුන තැනට ගියා එතන මං ඇදපු ඉරනම් තිබ්බා ඒත් අලියෙක්වත් මී හරකෙක්වත් නෑ. එතන තිබුනේ බළල් කුණක්. මේක හේමපාලට පුදුමයක් උනාට මං සිද්දිය වටහ ගත්තා.. තවත් අපිට ආරංචි උනා එතනින් ටිකක් එහාට වෙන්න තිබුන ගෙදරක තලතුනා ගෑණු කෙනෙක්ගේ මලගමක් වෙලා විත්තිය.. මටනම් දැනුනේ පුතේ මූ ගන්න ඕන බිල්ල කොහෙන්හරි අරන් තියනවා කියලා තමයි“ කියලා  ගුරුන්නාන්සෙ සීයා කථාව ඉවර කලා......... 

Wednesday, March 18, 2015

ආලෝකය නුබටත් ස්තූතී.......!!!





දෑස......,
මුලු ලොවම නුබ දිස් කරන යස
අඳුරු කඩතුරාවෙහි හස
තනිව නුබ දක්වනු කෙලෙස,
එලිය ආලෝකය නුබ
තුලින් ගෙන මසැසට
එය අපට මනහර
මෙන්ම දොම්නස් දසුන් ගෙනහැර
පාන නුබ හරි කෙරුමෙක්ම
තමයි මටනම් හැගීයන
එහෙත් පියකරු ආලෝකය
දුරස් වීනම් නුබෙන් ඈතට
නුබ පාන ඒ හැඩකාර
දසුන් අපිනම් කෙලෙස දකිමුද
නුබට ඒ නිති ලැබෙන සෙනෙහස
තනිව නොම නුබ ලබාගෙන
නුබට නොමසුරු සහය ලැබදෙන
පබ හටද නිති
ලබාදෙනු මැන

Monday, March 16, 2015

අකුණ සහ......


අඳුර විනිවිදින
එලිය විහිදුවන
නිසල නිහඬ බව
දුරකට පන්නන
සීතල අතරින්
හදවත සසලන
සුළං මැද සිනාසෙන
හැඩකාර මේඝ හඬ,
වගෙයි මගෙ හිතම
මැද ඉදන් දඟ කරන
උහුලන් ඉන්නටම බැරි තරම්
බරක් දෙන
හිත පුරා උඩු දුවන

.
.
.
.
.
.
ආදරය....